cancelling2009 ඔක්තෝබර් මස 22 වෙනිදා ජාතික ජලභීතිකා සමාලෝචන රැස්වීමේදී සුනඛ පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීම නොවැම්බර් මස 1 දින සිට නතර කිරීමට හදිසි තීරණයක් ගෙන ඇත. සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ඉතා සාර්ථකව කෙරීගෙන යන මෙම අවස්ථාවේ වසර අවසන් වීමට මාස දෙකක පමණ සුළු කාලයක් ඉතිරිව තිබියදී, මෙවැනි හදිසි තීරණ ගැනීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළකරන්නෙමු.

එම නිසා සුනඛ වන්ධ්‍යාකරණය වැඩසටහනකදී සුනඛ පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීමේ වැදගත්කම විද්‍යාත්මකව පැහැදිළි කිරීමට අප තීරණය කළෙමු.

ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාව තුළින් තුරන් කිරීම සඳහා සුනඛයන් වන්ධ්‍යාකරණයට ලක් කරමින් සුනඛ ගහණය පාලනය කිරීම නිසා දීර්ඝ කාලීනව මෙම ගැටළුවට ස්ථිරසාර පිළිතුරක් ලැබේ. නමුත් මෙම ප්‍රතිඵලය අපට දැකීමට තවත් වසර තුනක හෝ හතරක කාලයක් ගත වේ. මෙයට හේතු වන්නේ දැනට වන්ධ්‍යාකරණයට ලක් කරන සතුන් මිය යන තුරු සුනඛයන්ගේ අඩුවීමක් අපට දක්නට නොලැබීමයි. නමුත් මේ වනවිටත් සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සාර්ථකව සිදු කළ දිස්ත්‍රික්ක වල සුනඛ පැටවුන්ගේ ශීඝ්‍ර අඩුවීමක් ඔබට පෙනෙන්නට ඇතැයි සිතමු.

සුනඛ වන්ධ්‍යාකරණය නිසා මෙම දීර්ඝ කාලීන පිළිතුරට අමතරව කෙටි කාලීනව අපට වාසි රැසක් අත් වේ. සුනඛයන් වැඩි වශයෙන් මිනිසුන්ව සපා කන අවස්ථා කිහිපයක් ඇත.

  1. සුනඛ පැටවුන් සමග සෙල්ලම් කිරීමේදී කුඩා දරුවන්ව වැඩි වශයෙන් සපා කෑමට ලක්වෙන අතර වැඩිහිටියන්වද සපා කෑමට ලක්වේ.
  2. පැටවුන් ලැබීමට ආසන්නව සිටින කාලයේ සහ පැටවුන්ව රැක බලාගන්නා කාලයේ සුනඛ ධේනුවන්ගේ හැසිරීම කිපුණු ස්වරූපයක් ගන්නා අතර පැටවුන් සුරතල් කිරීමට හා පැටවුන් අසලට යන පිරිස සපා කෑමට ලක් වේ. සුනඛ ධේනුවන් වන්ධ්‍යාකරණය කිරීම මගින් පැටවුන් නොලැබෙන නිසා ඉහත සඳහන් ආකාර දෙකෙන්ම සුනඛයන් සපාකෑමේ අවස්ථා අඩු වේ.
  3. සුනඛයන් වසරකට දෙවතාවක් තමන්ගේ ලිංගික කටයුතු සිදුකරන අතර එම කාලය තුළ ඔවුන් රංචු ගැසී නිදැල්ලේ ගමන් කරයි. මෙම කාලය තුළ ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා කලබලකාරී, තරහ යන සුළු හැසිරීමක් පෙන්නුම් කරයි. පිරිමි සතුන්ගේ සපාකෑම් වැඩි වේ. බොහෝ නිවෙස් වල ඇතිකරන්නේ සුනඛ පිරිමි සතුන් වන අතර අයිතිකරුවන් විසින් ලිංගික අවශ්‍යතාවයන් සඳහා පිරිමි සතුන් නිදැල්ලේ යාමට ඇති ඉඩකඩ අහුරා එම කාලය තුළ සතුන්ව කූඩු කර හෝ බැඳ තබයි. මේ හේතුව නිසා මෙම සතුන් ඉතාමත් දැඩි ලෙස කුපිත වී සිටින අතර අයිතිකරුවන්ව හා අසල්වැසියන්ව සපාකෑමට වැඩි වශයෙන්ම ලක්වේ. මෙම හේතුව නිසා අයිතිකරුවන් සිටින පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීම කෙටි කාලීනව සුනඛ සපාකෑම් අඩුකරගැනීම සඳහා ඉතාම වැදගත් වේ.
  4. තවද සුනඛ ධේනුවන් පමණක් වන්ධ්‍යාකරණයට ලක් කළහොත් ඉතිරිවන සුනඛ ධේනුවන් කිහිපදෙනා අසළට වන්ධ්‍යාකරණය නොකළ සුනඛයන් විශාල වශයෙන් ලිංගික අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට පැමිණිය හැකි අතර එම කාර්යය ඉටුකරගැනීමට නොහැකි වූ විට සුනඛ පිරිමි සතුන් තව තවත් කෝප ගැන්වී සුනඛ සපාකෑම් වැඩිවිය හැක.
  5. සුනඛ ගැහැණු සතුන් කිහිප දෙනෙකුට සුනඛයන් විශාල සංඛ්‍යාවකගේ කරදර වලට මුහුණ දීමට සිදුවන බැවින් සතුන් කෙරෙහි ආදරය දක්වන සැමදෙනාම මෙම කටයුත්ත අනුමත නොකරනු ඇත.
  6. සුනඛ ‍වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භ කිරීමට පෙර සුනඛ ගහණය පාලනය කළේ සුනඛයන් විනාශ කිරිම මගින් වන අතර එහිදී ගැහැනු පිරිමි භේදයකින් තොරව වසරකට සුනඛයන් ලක්ෂයක් පමණ මරා දැමූ අතර ගරු සෞඛ්‍ය ඇමතිතුමාගේ මූලික අදහස වූයේ විනාශ කරන සුනඛයන් ලක්ෂය වෙනුවට සුනඛයන් ලක්ෂයක් වන්ධ්‍යාකරණය කළ යුතු බවයි. සුනඛයන් විනාශ කිරීමේදී ගැහැනු පිරිමි භේද නොසලකා කටයුතු කළ ජලභීතිකා මර්ධන ව්‍යාපාරය සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීමේදී ගැහැනු පිරිමි භේදය සැලකීමේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැත.
  7. සුනඛ ගැහැනු සතුන් හා පිරිමි සතුන් එකම ක්‍රමයක් මගින් නිර්වින්දනයට ලක් කරන අතර ඒ සඳහා නිර්වින්දන ඖෂධ ප්‍රමාණය තීරණය කරන්නේ සතාගේ බර, වයස, සෞඛ්‍ය තත්ත්වය මත මිස ගැහැනු පිරිමි භේදය මත නොවේ. ශල්‍යකර්මය අවසානයේදී භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණයද තීරණය කරන්නේ සතාගේ බර ප්‍රමාණය අනුව මිස ගැහැනු පිරිමි භේදය මත නොවේ.
  8. ගැහැනු සතෙකු හා පිරිමි සතෙකු වන්ධ්‍යාකරණය කිරීමේදී එකම වෙනස වන්නේ ගැහැනු සතෙකුට වඩා අඩු කාලයකින් පිරිමි සතෙකු වන්ධ්‍යාකරණය කිරීම පමණි. පිරිමි සතෙකු වන්ධ්‍යාකරණය කිරීමට ගැහැනු සතෙකු වන්ධ්‍යාකරණය කිරීමට වඩා අඩු වන මුදල රුපියල් දහයකටත් වඩා අඩුය.

මෙම සියලු කරුණු සලකා බැලීමේදී ගැහැනු සතුන් වන්ධ්‍යාකරණය කිරීම මෙන්ම පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීමද කෙටි කාලීන ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඉතා වැදගත් වන බව අපගේ අදහසයි. එම නිසා දැනට ඉතාම සාර්ථකව සිදුකරගෙන යන එම වැඩසටහන බාධා වන ආකාරයේ තීරණ නොගෙන ජලභීතිකා රෝගය ලංකාවෙන් තුරන් කිරීමේ සැබෑ අරමුණින් කටයුතු කරන ලෙස අප‍ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නෙමු. එමෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීම මිනිස් ජීවිත රැකගැනීමට මෙන්ම සතුන්ගේ ජීවිත රැකගැනීමටද වැදගත් වන අතර රට තුළින් ඖෂධ සඳහා පිටරටට ඇදී යන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමද තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වන අපට ඉතාමත් වැදගත් වේ. එම නිසා පටු අදහස් ඇති කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත කිසිදු අයුරකින් සුනඛ ගහණ පාලන වැඩසටහන නතර කිරීමට හෝ කඩාකප්පල් කිරීමට රටට ආදරය කරන කිසිදු අයෙක් ඉඩ නොතබනු ඇත.