ලස්සන ලස්සන බලු පැටව් ඉන්න තැනක් ගැන බලුනේරිස් මාමට ආරංචි වෙච්ච වෙලාවෙ ඉඳන් කෑමක් බීමක් නැතුව එතන විස්තර හොයන්න ගත්තා. කැම්පස් එකේ වැඩ කරන පියල් ළමයගෙන් ඇඩ්‍රස් එක හොයාගෙන මාමා ගියා බල්ලො ඉන්න තැනට. අයාලෙ යන බල්ලො අල්ලගෙන ඇවිත් ආදරෙන් බලාගන්න තැනක්ලු ඒක. චූටි චූටි ලස්සන බලු කුක්කො පොඩි පොඩි කූඩු වල හිරවෙවී බුර බුර මාමා දිහා බලාගෙන හිටියෙ අනේ අපි ඔක්කොලාවම අරගෙන යන්න කියලා වගේ. නැන්දා කැමති කලු පාට ලකුණු තියෙන සුදු පාට බල්ලන්ට හින්ද මාමා හුරතල් බලු කුක්කො දෙන්නෙක්වම තෝරගත්තා.
එතන හිටිය නෝනා කිව්වෙ කුක්කන්ගෙ පණුවො හලලා, පිස්සු බලු බෙහෙත් ගහලා, වඳකරන සැත්කමත් කරා කියලයි. ගෙදර ආපු මාමාට නැන්දගෙන් බැනුම් කප්පරයි. හැබැයි නැන්දා කැමති බලු පැටව් ගෙනාපු නිසා මාමා යන්තම් බේරුණා. පැටව් දෙන්නා ආපු වෙලේ ඉඳන් සෙල්ලම. දුවනවා පනිනවා හපනවා, හරිම හුරතලයයි. නැන්දා හරි හරියට පැටවුන්ට කෑම හැදුවා. මාමාට හිතුණා තමන්ට හදන කෑම ටිකවත් මෙච්චර සුවඳ නෑ කියලා. පැයක් ගියේ නෑ කෑම ලැහැස්තියි. වෙනම පිඟානකට දාලා පැටවුන්ට දුන්නා. දෙන්නා ඒ දිහා බලන්නෙවත් නෑ. අහක බලාගෙන තරහ වෙලා වගේ කෑගහනවා.
මාමා නැන්නදට කෑ ගැහුවා.
“මේව මේ බල්ලන්ට පුරුදු නැතුව ඇති! නෝනා මොනවද මොනවද බලු කෑම ජාතියක් දානවා මං බලාගෙන හිටියා.”
නැන්දට තරහ ගියා.
“ගේන එකනෙ ඇත්තෙ එහෙනම් ගිහිල්ලා”
මාමා කුඩෙත් කිහිල්ලෙ ගහගෙන හනි හනිකට ගියා සුපර් මාර්කට් එකට. බලු කෑම ගොඩයි. ගෙදරට ගේන අඩුම කුඩුම වලටත් වැඩිය ඒව ගණන්. ඒත් මොනව කරන්නද? අර පුංචි පැටව් දෙන්නා බඩගින්නෙ තියන්නයැ? අර නෝනා දුන්න ජාතියෙන්ම බලු කෑම එකක් ගත්තා මාමා. හනි හනිකට දිව්වා ගෙදර. පැටව් දෙන්නා හාමතේ කෙඳිරි ගගා ඉන්නවා. මාමා ඉක්මණට බලු කෑම එක කඩලා දුන්නා පැටවුන්ට. දෙන්නා දුවගෙන ආවා, ඉවකරා. ම්හු… ඒත් කෑම ඇට දෙකතුනක් කටට අරගෙන හපලා ආපහු එළියට දාලා තරහෙන් වගේ සද්ද කර කර එහෙට මෙහෙට ඇවිදින්න පටන්ගත්තා. නැන්දා කෑගහන්න පටන් ගත්තා ආයෙත්.
“කොහෙද යන ලෙඩ බල්ලො දෙන්නෙක් ගෙනල්ලා. තියෙන කරදර මදිවට දැන් මුන්ට බෙහෙතුත් කරන්න එපැයි.”
මාමා බලු පැටව් දෙන්නා පෙට්ටියක දාගෙන බයිසිකලේ පෙට්ටිය බැඳගෙන අදින්න පටන් ගත්තා පශු වෛද්‍ය මහත්තයා ගාවට.
එතනට එක එක ජාතියෙ වයිවාරණ බල්ලො ගෙනල්ලා.
“හරියට බල්ලන්ගෙ පැසන් සෝ එකක් වගේ.” මාමට එහෙම හිතුණා. මාමට පැය දෙකක් විතර ඉන්න වුණා කුක්කො දෙන්නව දොස්තර මහත්තයට පෙන්නන්න. දොස්තර මහත්තයා කරුණාවන්තයි. බෙහෙත් නලාව බල්ලගෙ තියනව, උණ බලනව, බල්ලව අතගානවා. එතන සැලකිලි ගොඩයි.
මාමා ලෙඩ වෙච්ච වෙලාවෙ ඉස්පිරිතාලෙට ගියාම එච්චර හොඳට මාමාවත් බැලුවෙ නෑ කියලා මාමාට හිතුණා.
“ලොකු උන්නැහෙ… මේ බල්ලට නම් කිසිම අමාරුවක් නෑ. අද ගෙනාපු නිසා සාංකාව වගේ ඇති. මේ විටමින් ටික කෝකටත් දෙන එක හොඳයි. තව දවස් දෙක තුනක් බලලා ආපහු අරන් එනවකො.” දොස්තර මහත්තයා කිව්වා.
විටමින් ජාති තුනක්ම ලියලා තිබුණා. ෆාමසියට ගියාම මාමාට හීන් දාඩිය දැම්මා.
”බොලේ ඒවගෙ ගණන්! හෙටවත් අරන් දෙනවා”
මාමා ආපහු ගෙදර යන ගමන් බනිස් ගෙඩි දෙකකුයි, රසකැවිලි වගේකුත් ගත්තා පැටවුන්ට දෙන්න. ගෙදර ගිහිල්ලා මොනව දුන්නත් පැටවු කන්නෙ නෑ. මාමාට හරිම දුකයි. මාමා එදා නිදාගත්තේ රෑටත් නොකා. පහුවදා උදේ නැන්දාගේ කෑගැහිල්ලත් එක්ක මාමාට නැගිටුණා.
“මේ පැටවු දෙන්නට මොකක්ද මේ දෙන වදේ? දැන් දවසක්ම කන්නෙ නෑ. මුන් දෙන්නා මැරිලා යයි. අරගෙන ආපු තැනටවත් අරගෙන ගිහිල්ලා අහගෙන එනවකො මුන්ට මොනවද කන්න දෙන්නෙ කියලා.”
මාමා උදෙන්ම පැටවු දෙන්නත් අරගෙන පැටවු අරගත්ත නෝනා හම්බවෙන්න ගියා. නෝනා ගජරාමෙට වැඩ. බල්ලො නාවනවා, බෙහෙත් ගානවා, පුදුම කරුණාවක්.
“අනේ නෝනා, මුන් දෙන්නා ඊයෙ ගිය වෙලේ ඉඳන් කන්නෙ නෑ. මොනව දුන්නත් කන්නෙ නෑ. අපේ උන්දැගෙන් මට බැනුම් මල්ලයි. දොස්තර ගාවටත් එක්කගෙන ගියා. මුන්ට කිසිම ලෙඩක් නැහැලු. අනේ නෝනා කියන්නකො. නෝනා මොනවද මුන්ට මේ කන්න දෙන්නෙ?”
නෝනා ඇතුළට ගියා. කෑම අහුරක් පිඟානට දාලා අරගෙන ආවා. පැටවු දෙන්නා දුවගෙන ඇවිල්ලා ඉව ඇල්ලුවා. පොර කකා කෑම කන්න පටන්ගත්තා. මාමාට පුදුමයි. ඊයේ දවසම කෑමට කට නොතියපු බලු පැටවු පොරකකා කන මේ අමුතු කෑම මොනවද කියලා මාමා ඇහුවා නෝනගෙන්. නෝනා කෑම මල්ලක් අරගෙන ඇවිල්ලා පෙන්නුවා. බැලින්නම් මාමා ඊයේ සුපර් මාර්කට් එකෙන් ගෙනත් දුන්න කෑම ජාතියමයි.
“අනේ නෝනා මම ගෙනත් දීලත් මුන් මේවා කෑවෙ නෑනෙ.”
නෝනාට කට කොනකින් හිනා ගියා.
“මේක විශේෂ කෑමක්. ලොකු උන්නැහෙ කඩෙන් ගත්ත ජාතිය වුණාට මේක එක්ස්පයර් කියන විශේෂ වර්ගයක්. මේවා තමයි මං මුන්ට කන්න දෙන්නෙ. පේනවා නේද මුන් හැදිලා ඉන්න ලස්සන. මං මේකෙන් ටිකක් ලොකු උන්නැහෙටත් දෙන්නම්. අනික් කෑමට පුරුදු වෙනකල් මේකෙනුත් ටික ටික දෙන්න.”
නෝනා කිව්වා. ඒ කෑම ටිකත් අරගෙන යන ගමන් එතන වැඩ කරන කළු පාට කොලුවා ලොකු උන්නැහෙට හම්බවුණා.
“ලොකු උන්නැහෙ… තමුසෙට පුළුවන්නම් මාළිගාවෙන් විසි කරන බත් මාළු ටිකක් හොයල දෙනව බල්ලන්ට. මෙහෙ බල්ලො ඒවත් රස කර කර කනවා.”
ඒක කොහොමද කරගන්නෙ කියලා හිත හිත ලොකු උන්නැහෙ සතුටින් ගෙදර ගියා.








Membership No: CP/KY/2009/0003