ජලභීතිකා රෝග මර්ධන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට අදාලව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංගමයේ සභාපති වෛද්‍ය උදය විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2009 නොවැම්බර් මස 10 දින කුරුණෑගල, පොල්ගහවෙලදී පැවැත්විණි. දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පහත සඳහන් යෝජනා හා ක්‍රියාමාර්ග වලට ඉදිරියේදී එළඹීමට තීරණය විය.
- 2008 වසරේ ආරම්භ වූ ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට ඉතා සාර්ථක ලෙස ලංකාවේ බොහොමයක් දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වන අතර මේ සඳහා ක්‍රියාකාරීව දායක වූ රජයේ නිළධාරින් හා වෙනත් ක්‍රියාකාරිකයන් ඇගයීම උදෙසා ජලභීතිකාවෙන් තොර හෙට දිනක් යන මැයින් ජනතා උපහාර උළෙලක් දෙසැම්බර් මස අවසානයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට තීරණය විය.
- 2008 වසරේ සිට සාර්ථකව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ ආකාරය, පැනනැගුණු ගැටළු සහගත තත්ත්වයන් හා ඉදිරියේදී ජයගත යුතු අභියෝග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් හැකි ඉක්මණින් පැවැත්වීමට තීරණය විය.
- දැනට ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට ක්‍රියාකාරීව සහභාගි වන සියලු පශු වෛද්‍යවරුන් එක්කොට ඔවුන්ගේ ගැටළු, යෝජනා සාකච්ඡා කිරීමටත්, ඉදිරි වර්ෂයේ වැඩසටහන සඳහා පොදු වැඩපිළිවෙලක් සකස් කරගැනීමට මූලික අඩිතාලම දැමීම සඳහා රැස්වීමක් මෙම මස අවසන් වීමට පෙර කොළඹදී පැවැත්වීමට තීරණය විය. මෙම සාකච්ඡා වල කැඳවුම්කරු ලෙස සංගමයේ ලේකම් වෛද්‍ය පුබුදු සමරවීර මහතාව පත් කරගන්නා ලදී.
- වෛද්‍ය නලිනිකා ඔබේසේකර මහත්මිය කොළඹ නගර සභා සීමාව තුළ ක්‍රියාත්මක කරන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ඉතාමත් හොඳ ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන අතර පසුගිය සතියේ අප සංගමයේ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා එම වැඩසටහන් නැරඹීමට හා සහභාගි වීමට කටයුතු කළේය. එම වැඩසටහන් ජංගම ශල්‍යාගාරයක් තුළ සිදුකරන අතර ඒ හේතුව නිසා බොහොමයක් ප්‍රමිතීන් අනුගමනය කළ හැක. ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ගම් මට්ටමින් ඉතාම අඩු පහසුකම් යටතේ සිදු කරයි. නමුත් වෛද්‍ය නලිනිකා ඔබේසේකර මහත්මියගේ වැඩසටහන තුළින් ජාතික වැඩසටහනට එකතු කරගත හැකි ප්‍රායෝගික දෑ ඇතැයි අප විශ්වාස කරන නිසා අප කණ්ඩායමට ඔවුන්ගේ කණ්ඩායම සමග අත්දැකීම් හුවමාරු කරගනිමින් ජාතික වැඩසටහනේ ප්‍රමිතීන් හැකි පමණ දියුණු කිරීමට ඇයගේ සහයෝගය ලබාගැනීමට තීරණය විය.
- සුනඛයන් පාලනය කිරීම සහ රැකබලාගැනීම සම්බන්ධයෙන් දේශනයක් කිරීමට මේ සම්බන්ධයෙන් බොහෝ අත්දැකිම් ඇති වෛද්‍ය නලිනිකා ඔබේසේකර මහත්මියට ආරාධනා කිරීමට තීරණය විය.
- ජාතික සුනඛ ගහණ වන්ධ්‍යාකරණ වැඩසටහන ආරම්භයේ සිටම සුනඛයන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් කටයුතු කරන සමහරක් රාජ්‍ය නොවන සංවිධාන වැඩසටහන සම්බන්ධයෙන් විවිධ වැරදි තොරතුරු ජනතාව අතරත්, ඉහළ දේශපාලන හා රජයේ නිළධාරීන් අතරත් පතුරවමින් වැඩසටහනේ ඉදිරි ගමනට බාධා කළ අතර මෙම වැඩසටහන නරඹා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ලෙස අප ඉල්ලා සිටියත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවීය. මේ නිසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිළි කිරීමටත්, රාජ්‍ය නොවන සංවිධාන වලට හා ජනතාවට මේ සම්බන්ධයෙන් ඇති ගැටළු සාකච්ඡා කිරීමටත් අවස්ථාවක් ලබාදීමට තීරණය විය. මේ අනුව ඉදිරි දිනකදී සියලුම අදාල රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිඛිතව මේ සම්බන්ධයෙන් ආරාධනා කොට රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ඇත.
- වන්ධ්‍යාකරණ කටයුතු වල ප්‍රමිතිය රැකගැනීම සඳහා අධීක්ෂණය කිරීමට ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය කණ්ඩායමක් පත් කරන ලෙස පශු වෛද්‍ය සභාව වෙත ලිඛිතව ඉල්ලීමක් කිරීමටත් තීරණය විය.
- මෙම වසර අවසානයේදී වැඩසටහනට ක්‍රියාකාරිව සහභාගී වූ අප සංගමයේ සාමාජිකයන් ඉන්දියාවේ සහ නේපාලයේ ක්‍රියාත්මක කරන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන නැරඹීමට රැගෙන යාමට අවශ්‍ය කටයුතු කිරීමට තීරණය විය.













May 20th, 2012
1 Comment at "ජලභීතිකාවෙන් තොර හෙට දිනක්"
සුනකයින් ඝාතනය කිරීම වෙනුවට මේවැනි වන්ධ්‍යාකරණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම ඉතාම ඉහලයි.
සුනක ඝාතනය අප වැනි බෞද්ධාගමික රටකට කිසිසේත් නොගැලපෙයි.
Comment Now!