සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය අමුණුගම මහත්මියගේ ආරාධනයෙන් අද දින උදෑසන 9.30 ට ගන්නොරුව එම දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට රැස්වූ වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන් හා රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් මධ්‍යම පළාත තුළ සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් ඉතා වැදගත් ප්‍රායෝගික යෝජනා කිහිපයක්ම සම්මත කරගන්නා ලදී. එම සාකච්ඡාවේදී පසුගිය කාලය තුළ විවිධ පාර්ශවයන් අතර තිබූ වැරදි වැටහීම් බොහොමයක් නිරාකරණය කරගැනීමට හැකිවූ අතර මෙම වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා කණ්ඩායමක් ලෙස වැඩ කළ යුතු බව අවධාරණය විය.
- පළාත තුළ රජයේ පශු වෛද්‍ය නිළධාරින් මනාව දැනුවත් කොට ඔවුන්ගේ සහයෝගය මෙම වැඩසටහන සඳහා ලබාගන්නේ නම් වන්ධ්‍යාකරණයට ලක් කරන සතුන්ගේ වන්ධ්‍යාකරණයෙන් පසු සිදුවිය හැකි සංකූලතා පිළිබඳව සොයා බලා ප්‍රතිකාර කිරීමට ඔවුන් මැදිහත් කරගත හැකි බව තලාතුඔය පශු වෛද්‍ය නිළධාරි වෛද්‍ය සාලිය සමරකෝන් මහතා යෝජනාව විය. එමෙන්ම සුනඛයන් වන්ධ්‍යාකරණයට ලක් කිරීමේ ඇති වැදගත්කමත්, වන්ධ්‍යාකරණයෙන් පසු රැකබලාගත යුතු ආකාරයත් නිරන්තරයෙන්ම පශු වෛද්‍ය කාර්යාල හරහා ජනතාව දැනුවත් කළ හැකි බව සැමගේ අදහස විය.
- ජලභීතිකා රෝගය මර්ධනය කිරීම සඳහා සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීමේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම කටයුත්ත සඳහාම පශු වෛද්‍යවරුන් බඳවා ගත යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශවයන් විසින් අදාල අංශ වලට ඉල්ලීම් කළ යුතු බව යෝජනා විය.
- සුනඛයන් වන්ධ්‍යාකරණ කිරීමේදී ලංකාව පුරාම එකම උසස් ප්‍රමිතියකට ශල්‍යකර්ම කළ යුතු බවත්, ඒ සඳහා නිර්ණායක සැකසීම ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව විසින් කළ යුතු බවටත්, වන්ධ්‍යාකරණ කටයුතු පශු වෛද්‍ය සභාව විසින් පත්කරන ලද කමිටුවක් විසින් අධීක්ෂණය කළ යුතු බවටත් අප සංගමය එම සභාව වෙත කළ ඉල්ලීම කාගේත් පැසසුමට ලක්විය. අද දින පැවැත්වූ සාකච්ඡාවේ වාර්තාවක් පශු වෛද්‍ය සභාව වෙත යැවීමටත් තීරණය විය.
- ඉදිරි වසරේදී ශල්‍යකර්ම සිදුකරන වන්ධ්‍යාකරණ මධ්‍යස්ථාන වලට සහයෝගය ලබාගැනීමටත්, වන්ධ්‍යාකරණයෙන් පසු ප්‍රකෘති සිහිය ලැබෙන තුරු සුනඛයන්ව රැකබලාගැනීමටත් යම්කිසි මුදලක් ගෙවා එම ගමෙන්ම ස්වෙච්ඡා නිළධාරියෙක් යොදාගැනීමට අප ගෙන ඇති තීරණය KACPAW ආයතනයේ නිළධාරීන්ට මතු වී තිබූ ගැටළු වලට පිළිතුරක් විය.
- මෙම වැඩසටහන සම්බන්ධයෙන් යම් අයෙකුගේ විවේචන ඇතොත් ඒ සම්බන්ධයෙන් තැන් තැන් වල කතාකිරීමෙන් වැඩසටහන කඩාකප්පල් වීමට ඉඩ ඇති නිසා ඇති සියලු චෝදනා නියමාකාරයෙන් ලිඛිතව කළමනාකරණ කමිටුවේ මූලාසනය දරණ පළාත් අධ්‍යක්ෂකතුමිය වෙත ඉදිරිපත් කිරීම සුදුසු යැයි යෝජනා විය.
- සෑම මාස තුනකට වරක්ම මෙම කළමනාකරණ කමිටුව රැස්වී ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමටත්, යහපත් යෝජනා ඇත්නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය සොයාබැලීමටත් තීරණය විය.












Membership No: CP/KY/2009/0003