2009-11-24 වන දින ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව විසින් කරන ලද ඉල්ලීමට අනුව ජාතික සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන පිළිබඳව සමාලෝචනය කිරීමටත්, ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් 2009-12-18 වන දින උදෑසන 8.00 ට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙයට ජලභීතිකා රෝග මර්ධන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතාද අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගී විය. පුබුදු සමරවීර, චමිත් නානායක්කාර, උදය විජේවර්ධන ඇතුළුව ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි වෛද්‍යවරුන් දසදෙනෙකු මෙම සාකච්ඡාවට සංගමය වෙනුවෙන් සහභාගී විය.
මතුවී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කොට දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන ක්‍රමවත් කරගැනීම උදෙසාත්, ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීම සඳහාත්, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වන සියලු පාර්ශවයන් සමන්විත ජාතික කමිටුවක් ජනවාරි මස අවසන් වීමට පෙර පිහිටුවීමට වෛද්‍ය මහීපාල මහතා එකඟ විය. වන්ධ්‍යාකරණයට ලක් කරන සතුන් හඳුනාගැනීම සඳහා අමාත්‍යාංශය විසින් යෝජනා කොට ඇති ක්‍රමවේදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ යම් යම් අඩුපාඩු පැවතුණත් වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතාගේ හේතු පැහැදිළි කිරීමෙන් පසුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සංගමයේ එකඟතාවය පළවිය.
පළාත් මට්ටමෙන් සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු සඳහා ටෙන්ඩර්පත් කැදවීමේදී සිදුකරන අඩුපාඩු සම්බන්ධයෙනුත්, පළාත් මට්ටමෙන් වන්ධ්‍යාකරණ කටයුතු සඳහා මුදල් ලබාදීමේදී වන ප්‍රමාදයන් සම්බන්ධයෙනුත් සංගමය විසින් වෛද්‍ය මහීපාල මහතා වෙත කරුණු ඉදිරිපත් කරන ලදී. 2010 වසරේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර පවත්වන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ඔහු ප්‍රකාශ කර සිටි නමුත් පළාත් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අදාල කටයුතු වල වගකීම සම්පූර්ණයෙන්ම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීම අපගේ වගකීම බව ඔහු අවධාරණය කර සිටියේය.
2008 හා 2009 වසර වලදී සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී වෛද්‍ය මහීපාල මහතා විසින් ලබාදුන් සහයෝගය සැමදෙනාගේම පැසසුමට ලක්විය.








Membership No: CP/KY/2009/0003