ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන ලංකාවේ මුලින්ම ආරම්භ කරන ලද්දේ මධ්‍යම පළාත තුළයි. 2008 වසරේදී සතුන් 46,857 ක් වන්ධ්‍යාකරණය කරමින් ලංකාවේ ආදර්ශය බවට පත්වූ මධ්‍යම පළාත, 2009 වසරේදී සතුන් 36,285 ක් වන්ධ්‍යාකරණයට ලක් කරමින් පළාත තුළ ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීමේ ඉලක්කය කරා ළං වෙමින් තිබුණි. මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට කටයුතු කරන සුනඛ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක කුමන්ත්‍රණකාරී මැදිහත් වීම නිසා 2009 අගෝස්තු මසදී මෙම වැඩසටහන නතර කිරීමට සිදුවිය.

මාස 7 ක් ගතවී ඇතත් මෙම වැඩසටහන නැවත ආරම්භ කිරීම‍ට නොහැකි වූ අතර මේ වන විට සුනඛයන් ශීඝ්‍ර ලෙස බෝවීම නිසා 2008-2009 වසර වල රටේ සුනඛ ගහණය පාලනය කිරීමට වියදම් කළ මුදල පවා අපතේ ගිය තත්ත්වයකට පත්වී ඇත. මෙම තත්ත්වයට තාවකාලික පිළියමක් ලෙස හෝ රටට ජනතාවට වගකියන සංවිධානයක් ලෙස අපගේ මුදලින් නොමිලේ මධ්‍යම පළාත තුළ හැකි පමණින් වන්ධ්‍යාකරණ සායන ඉදිරියේදී සංවිධානය කිරීමට අප සංවිධානයේ විධායක කමිටුව අද දින තීරණය කරන ලදී.

රට තුළ විවිධ ගැටළු පවතින අවස්ථාවක පවා රජය මගින් අනාගත පරපුර උදෙසා ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීමට ආරම්භ කළ මෙම වැඩසටහන කුමන්ත්‍රණකාරීන්ගේ බාධා කිරීම් වලින් තොරව ශක්තිමත් ලෙස ඉදිරියට රැගෙන යාමට ඔබ සැවොම අප හා එක්වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.