මඩකලපුව දිස්ත්‍රික්කයේ සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු සඳහා Ranjitha Motors and Building Constructions (Pvt) Ltd. නමැති පොළොන්නරුවේ ගොඩනැගිලි ඉදිකරන සමාගමක් ඉතාමත් අඩු මිලකට ටෙන්ඩර්පතක් ඉදිරිපත් කොට ඇත. පශු වෛද්‍ය සේවාවක් සැපයීම සඳහා මෙවැනි ආයතනයක් ඉදිරිපත් වීම හාස්‍යජනක සිදුවීමකි.

2008 වර්ෂයේ ආරම්භ වූ ජාතික සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන මේ වන විට අක්‍රමවත්ව ටෙන්ඩර් කැඳවීමේ හා විවිධ බලපෑම් මත නුසුදුසු පුද්ගලයන්ට ටෙන්ඩර් ප්‍රදානය කිරීමට දරන උත්සහයන් නිසා කඩාකප්පල් විය හැකි බව අපගේ අදහසයි.

සුදුසුකම් නොමැති පුද්ගලයන් ටෙන්ඩර්පත් ඉදිරිපත් කිරීම හා සුදුසුකම් සහ පළපුරුද්ද නොමැති පුද්ගලයන් සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු වල නියැලීම සම්බන්ධයෙන් 2009 නොවැම්බර් මසදී මෙම වැඩසටහනේ ගුණාත්මක භාවය අඩාල වී ජාතික වැදගත්කමක් ඇති මෙම වැඩසටහන අසාර්ථක විය හැකි බවත්, මෙම වැඩසටහන ක්‍රමවත් කිරීමට මැදිහත් වන ලෙසත් අප ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව (Sri Lanka Veterinary Council) හා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය (Sri Lanka Veterinary Association) ඉල්ලීම් කළත් මේ වන විට කිසිදු පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල මහතාට අප ලිඛිතවත්, වාචිකවත් කීප වතාවක් කරුණු ඉදිරිපත් කළ අතර ඔහුගේ අදහස වූයේ ටෙන්ඩර් වලට අදාළ කටයුතු පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට අදාල කටයුත්තක් වන අතර ඒ සඳහා අමාත්‍යාංශයට මැදිහත් විය නොහැකි බවයි.

සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම සුදුසුකම් හා පළපුරුද්ද සහිත ලියාපදිංචි පශු වෛද්‍යවරුන් විසින් කළ යුතු අතර මේ සඳහා ඉල්ලුම් කළ හැකි විය යුත්තේත්, ටෙන්ඩර්පත් ප්‍රදානය කළ යුත්තේත් සුදුසුකම් ලත් පශු වෛද්‍යවරුන්ට හා ලියාපදිංචි පශු වෛද්‍ය සේවා සපයන ආයතනය වලට පමණක් බව අපගේ අදහසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතා මුදල් විශාල ප්‍රමාණයක් යොදවමින් ආරම්භ කළ මේ ජාතික කාර්යය ක්‍රමවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ටෙන්ඩර්පත් කැඳවීම හා ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කොට ඍජුවම මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. එසේ නොමැති නම් මෙම ජාතික වැඩසටහන නොබෝ දිනකින් ජාතික විහිළුවක් බවට පත් වනු නොඅනුමානය.