2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා සිදුකිරීමට ගිය මහා සුනඛ සංහාරය උපන් ගෙයිම මියැදුනේ මෙය බුදුන් වැඩි දේශයක් නිසාවෙනි. ඇතැම් හෙංචයියන්ගේ නොමගයැවීම් වලට හසුවූ ඇමති මෛත්‍රීපාල සිරිසේන දින දෙක තුනක් වැරදි මාර්ගයේ ගියද දැන් යළිත් නිසි මගට ප්‍රවිශ්ට වී ඇත. අද දින සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග දැනුම් දුන්නේ සුනඛයින් ඝාතනය කිරීමේ කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවයි. ඒ වෙනුවට සුනඛයින් එන්නත් කිරීම සහ වන්ධ්‍යාකරණය වැනි වැඩසටහන් සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ අතර එක්තරා විද්‍යුත් රූපවාහිනී නාලිකාවක් මගින් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයක් විකෘති කර ප්‍රචාරය කිරීම මෙවැනි අර්බුදයක් ඇතිවීමට මූලික වූ බව අමාත්‍යාංශයේ ස්ථාවරයයි. කරුණු කෙසේ වුවද, අපට දැනගන්නට ඇති ආකාරයට මේ පිළිබඳව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි අවධානය යොමුව තිබේ. ඒ අනුව 2004 වසරේදී තම තීරණයකට අනුව නවත්වන ලද සුනඛ ඝාතනය කිසිදු හේතුවක් මත යළි ආරම්භ නොකරන බව ජනාධිපතිවරයාගේ මතයයි. එම නිසා මෙම මහා සත්ත්ව සංහාරය වළක්වාලන්නට උරදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපගේ බැතිබර ගෞරව ප්‍රණාමය පුදකරමු. ඊට අමතරව සුනඛ ජීවිත රැකගැනීම සඳහා vetsforfuture ක්‍රියාත්මක කළ දැවැන්ත මෙහෙයුමට වචනයකින් හෝ උරදුන් සියලුම දෙනාට අප හිස නමා ආචාර කරමු. ඉදිරියටත් vetsforfuture අවදියෙන්.