0
7
Jan

පශු වෛද්‍යවරුන්ගේ යෝජනා

ජලභීතිකා රෝගය ශ‍්‍රී ලංකාවෙන් සදහටම තුරන් කිරීමට දැනට ක්‍රියාත්මක වන ජලභීතිකා මර්ධන ජාතික වැඩසටහන වඩ වඩාත් ශක්තිමත් කළ යුතු බව අපගේ අදහසයි. ඒ සඳහා පහත සඳහන් යෝජනා අප ඉදිරිපත් කරන්නෙමු.

සුනඛ ධේනුවක වසරකට දෙවතාවක් පැටවුන් බිහිකරන අතර එම ගැහැනු පැටවෙකුට මාස හයකින් පසු පැටවුන් බිහිකිරීමේ හැකියාව ලැබේ. මෙසේ සුනඛ ගහණය ඉතාමත් වේගයෙන් වැඩිවිය හැකි නිසා සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම ඉතාමත් වේගවත්ව කළ යුතුය. එම නිසා සෑම දිස්ත‍්‍රික්කයකම ජනවාරි මස වන විට මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කිරීම.

සුනඛයන්ට ලබාදෙන ජලභීතිකා එන්නත් ගෙන්වීමට අදාල ටෙන්ඩර් පටිපාටියේ පැවති ගැටළුසහගත තත්ත්වයන් නිසා ඔක්තෝබර් මස අවසානයේ සිටම එන්නත් වල හිඟයක් රට තුළ පවතින අතර ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීමට නම් සුරතල් සත්ත්ව ගහණයෙන් 80% ක එන්නත් ලබාදීමේ ඉලක්කය කරා ගමන් කිරීමට මෙය ප‍්‍රධාන බාධකයක් වී ඇත. 2009 වසරේදීත් මාස දෙකක පමණ කාලයක් ජලභීතිකා එන්නත් හිඟයක් රට තුළ පැවති අතර වසර පුරාවටම හිඟයකින් තොරව එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවට තිබිය යුතුය.

ටෙන්ඩර්පත් වලට සුදුසු පුද්ගලයන්ට හා සංවිධාන වලට පමණක් අයදුම් කළ හැකිවන පරිදිත්, සුනඛ වන්ධ්‍යාකරණ සැත්කම් සුදුසුකම් සහිත පශු වෛද්‍යවරුන් විසින් පමණක් සිදුකළ යුතු බවටත්, සැත්කම් වල ගුණාත්මකභාවය රැකිය යුතු බවටත් ටෙන්ඩර්පත් කැඳවීමේදී අවධාරණය කළ යුතුය. මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශය මගින් විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරන බැවින් සෑම දිස්ත‍්‍රික්කයකම එකම ප‍්‍රමිතියකට ක‍්‍රමානුකූලව වැඩසටහන ක‍්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍යාංශය මගින් අවධාරණය කළ යුතුය.

බහුතරයක් රෝගීන් රෝහල් වලට ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන්නේ සුනඛ පිරිමි සතුන් සපාකෑම නිසාය. එම නිසා සුනඛ ගැහැනු සතුන් වන්ධ්‍යාකරණය කිරීමට අමතරව කෙටි කාලීනව සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීම සඳහා සුනඛ පිරිමි සතුන්ද වන්ධ්‍යාකරණයට ලක් කළ යුතුය.

පසුගිය වසරේ බළලූන් සපාකෑම නිසා පුද්ගල මරණ 18 ක් සිදුවී ඇත. එම නිසා හැකි ඉක්මණින් බළල් ගහණය පාලනය කිරීමට වන්ධ්‍යාකරණ සැත්කම් කිරීම ඇරඹිය යුතු අතර බළලූන් සඳහාද ජලභීතිකා රෝගයෙන් වැළකීමේ එන්නත් ලබාදිය යුතුය.

සුනඛයන් සඳහා ජලභීතිකා රෝගයෙන් වැලැක්වීමේ එන්නත් ලබාදීමේ වැඩසටහනේ පවතින අඩුපාඩු සකස් කොට එය ඉතා විධිමත් හා විද්‍යානුකූල කළ යුතුය.

ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් හා සතෙකු සපා කෑ විට කළ යුතු ප‍්‍රථමාධාර, වෛද්‍ය ප‍්‍රතිකාර පිළිබඳව තවමත් ජනතාව ක‍්‍රමවත්ව දැනුවත්ව නොමැති වීම ජලභීතිකා මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට ප‍්‍රධානම හේතුවක් වී ඇත.

එම නිසා ජනතාව දැනුවත් කිරීමේ විශාල පරිමාණයේ වැඩසටහනක් ඉතා ඉක්මනින් ඇරඹිය යුතුය. එහිදී

1. වගකීමකින් සතුන් රැකබලාගැනීමේ වැදගත්කම
2. අයාලේ යන සුනඛයන් හමුවූ විට සැලකිලිමත් විය යුතු කරුණු
3. සුනඛයෙකු සපා කෑ විට ලබාදිය යුතු ප‍්‍රථමාධාර
4. සුනඛයෙකු සපා කෑ විට ලබාගත යුතු වෛද්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර

සම්බන්ධයෙන් අත්පත‍්‍රිකා, පෝස්ටර්, දේශන, රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්, වීදි නාට්‍ය වැනි විවිධ ක්ෂේත‍්‍ර හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් සකස් කළ යුතුය.

Leave a Reply