Rabies Eradication Fund

2002 වසරේ සිට අප සංගමයේ සාමාජිකයෝ රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව ජලභීතිකා රෝගය මර්ධන කිරීම උදෙසා සිදුකරන සුනඛ ගහණ පාලන වැඩසටහන් සඳහා දායකත්වය ලබා දුන්හ. 2007 වසරේ අවසන් භාගයේ සිට රජය මගින් ආරම්භ කළ සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ වැඩසටහන් වල 90% ක සක්‍රිය දායකත්වයක් ලබාදෙන්නේ අප සංවිධානයේ පශු වෛද්‍යවරුනුයි. ශ්‍රී ලංකාව තුළින් ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම මේ වන විට අප සංගමයේ ඇති ප්‍රධාන අරමුණයි.

වසර ගණනාවක් සක්‍රියව මෙම වැඩසටහන තුළ ක්‍රියාත්මක වීම නිසා අප සතුව ඇති අත්දැකීම්, අප විසින් සිදුකරන ලද සමීක්ෂණ, පර්යේෂණ, පොතපත හා වෙනත් පර්යේෂණ ග්‍රන්ථ ආශ්‍රිතවත්, වෙබ් අඩවි ඇසුරෙනුත් ලබාගත් දැනුම මත පදනම් වී පහත සඳහන් නිගමන වලට අප පැමිණ ඇත.

  1. සුනඛ ගහණ පාලනය සඳහා මේ වන විට ක්‍රියාත්මක කරන වැඩසටහන ඉතාම ඵලදායී වැඩසටහනක් වන අතර මෙම වසර තුළ ජලභීතිකා රෝගය නිසා මියගිය මිනිසුන් සංඛ්‍යාව ගිය වසරට වඩා අඩු වී ඇති අතර 2008 වසර තුළ ජලභීතිකා‍ රෝගය වළක්වා ගැනීම සඳහා මිනිසුන්ට ලබාදෙන එන්නත් සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා 2010 වසරේ ඇස්තමේන්තු කළ මුදල මිලියන 215 ක් පමණ විශාල මුදලකින් අඩුවී ඇත. සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන නිසා රට තුළට මෙතරම් ප්‍රතිලාභ ලැබෙමින් තිබියදීත් ජලභීතිකා රෝගය ලංකාව තුළින් සැබෑවටම තුරන් කිරීමට අවශ්‍යතාවයක් නැති ජලභීතිකාව නිසා වරප්‍රසාද ලබන රජයේ නිලධාරින් කිහිපදෙනෙකුගේත්, ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන වල කාන්තාවන් කිහිප දෙනෙකුගේත්, සුනඛයෙකු සපා කෑ විට විශාල මුදලක් වියදම් කරමින් රෝහල් මගින් මිනිසුන්ට ලබාදෙන එන්නත් වර්ග ආනයනය කරන සමාගම් වල නිලධාරින්ගේත් බලපෑම මත හෙට දවස වන විට මෙම සාර්ථක වැඩසටහන නතර වීමේ අවදානමක් මේ වනවිටත් ඇතිවෙමින් පවතී.
  2. ජලභීතිකා රෝගය මර්ධනය කිරීම උදෙසා සතුන්ට එන්නත් ලබාදෙන වැඩසටහන මීට වඩා ක්‍රමානුකූල හා විද්‍යාත්මක විය යුතු අතර ඒ සඳහා එන්නත්කරුවන් සඳහා මීට වඩා වැඩි පුහුණුවක් ලබාදිය යුතුය.
  3. ජලභීතිකා රෝගය සඳහා එන්නත් ලබාගැනීමට සුනඛයන් රැගෙන එන විට බොහෝ අවස්ථා වලදී පසුගිය වසර වල ජලභීතිකා ‍එන්නත් ලබාදුන් වාර්තා සටහන් සුනඛ අයිතිකරුවන් ළඟ නොමැත. නිවැරදිව තමන්ගේ සුනඛයාට ලබාදෙන එන්නත් සටහන් ළඟ තබා නොගැනීම නිසා සුනඛයා මිනිසෙකු සපා කෑ විට රෝහලට ඉදිරිපත් කිරීමට සත්‍ය තොරතුරු නොමැති වීමෙන් බොහෝ විට වෛද්‍යවරුන්ට රෝහල් වලදී අනවශ්‍ය ලෙස post exposure serum සහ එන්නත් ලබාදීමට සිදුවේ. අයිතිකරුවන්ගේ නොදැන්වත්කම හා නොසැලකිල්ල නිසා තවමත් ලංකාවේ සුනඛ ගහණයෙන් 50% කට වඩා සුනඛයන්ට ජලභීතිකාව තුරන් කිරීමේ එන්නත් ලබා නොදේ. තමන්ගේ ගෙදර සිටින එන්නත් ලබා නොදුන් සුනඛයා හෝ අයාලේ යන සුනඛයෙකු හෝ සපා කෑ විට කළ විට ප්‍රථමාධාර ලබා දී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව බොහෝ දෙනෙකු තවමත් නොදනී. එමෙන්ම සුනඛයන් හැර ඕනෑම උණුසුම් රුධිරය ඇති සත්ත්වයෙක් මගින් ජලභීතිකා රෝගය වැළඳීමට ඉඩ ඇති බව බොහෝ දෙනා නොදනී.
  4. කැලෑවල් ආශ්‍රිත ප්‍රදේශ වල වන්ධ්‍යාකරණ වැඩසටහන් කිරීමේදී අපගේ නිරීක්ෂණය වූයේ බොහෝ සුනඛයන් කැලෑ සතුන්ගේ සපාකෑම් වලට ලක් වී ඇති බවයි. කැලෑ සතුන්ගේ සපාකෑම් වලට ලක්වූ මිනිසුන් පවා අපට හමුවිය.
  5. බළලුන් නිතරම තමන්ගේ ශරීරය ලෙවකමින් සිටින නිසා ජලභීතිකා රෝගය වැළඳුණු බළලුන්ගේ අත් වල, නියපොතු වල පවා ජලභීතිකා වෛරසය තිබීමේ හැකියාව ඇත. එම නිසා බල්ලන්ගේ මෙන් නොව ජලභීතිකාව වැළඳුණු බළලෙකු සීරූ විට පවා ජලභීතිකා වෛරසය අපට ශරීරගත විය හැක. මෙම වසරේදී වෙනත් වසර වලට වඩා බළලුන් නිසා ජලභීතිකා රෝගය වැළඳී මිය ගිය මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත.

ඉහත සඳහන් හේතු නිසා ජලභීතිකා රෝගය සහමුලින් ලංකාවෙන් තුරන් කිරීමට පහත සඳහන් යෝජනා අප ඉදිරිපත් කරන්නෙමු.

  1. දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලංකාවේ සිටින සුනඛයන් ලක්ෂ විසිපහෙන් දහයක් පමණවත් වන්ධ්‍යාකරණයට ලක් කරමින් වසර පහක් තුළ ඉතා වේගවත් ලෙස සුනඛ ගහණය අඩු කිරීමට කටයුතු කළ යුතුය.
  2. සුනඛයන් මෙන්ම බළලුන්ද වන්ධ්‍යාකරණයට ලක් කරමින් බළල් ගහණයද අඩු කළ යුතුය.
  3. දැනට ක්‍රියාත්මක කරන සුනඛ ගහණ පාලන වන්ධ්‍යාකරණ සැත්කම් කඳවුරු අධීක්ෂණය කිරීමට සැත්කම් සම්බන්ධව අත්දැකීම් බහුල පශු වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදාගත යුතුය.
  4. සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු වලට අදාල සටහන් තැබීම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයක වගකිවයුතු නිලධාරින්ගේ නොසැලකිලිමත්කම නිසා ගැටළු මතුවී ඇති අතර මෙම කරුණු පදනම් කරගනිමින් වැඩසටහන නතර කර දැමීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බැවින් මෙම සටහන් තැබීමේ කටයුතු හැමවිටම ක්‍රමානුකූල හා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීය යුතුය.
  5. සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා කිරීමට මේ වන විටත් අමාත්‍යාංශය මගින් එක් සාකච්ඡාවකටවත් සුනඛ වන්ධ්‍යාකරණයට සහභාගි වන වෛද්‍ය කණ්ඩායම් සහභාගි කරවාගෙන නොමැති නිසා බොහෝ ගැටළු වර්ධනය වීමට හේතුවක් වී ඇත. එම නිසා අඩු තරමේ මාස දෙකකට වතාවක්වත් වන්ධ්‍යාකරණ කටයුතු වලට සක්‍රියව දායක වන පශු වෛද්‍යවරුන් සඳහා සාකච්ඡා සංවිධානය කළ යුතුය.
  6. කැලෑ ආශ්‍රිත ප්‍රදේශ වල මිනිසුන්ට හා සුරතල් සතුන්ට ජලභීතිකා රෝගය වැළඳීමේ (Wild Rabies) වැඩි අවධානමක් පවතින අතර මේ සඳහා විශේෂ වැඩසටහනක් සකස් කළ යුතුය.
  7. කැලෑව තුළ ජීවත් වන සතුන්ගෙන් ජලභීතිකා වෛරසය විනාශ කිරීම සඳහා ක්‍රමානුකූල ලෙස සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.
  8. ජලභීතිකාව එන්නත සුනඛයන්ට ලබාදෙන එන්නත්කරුවන්ට විද්‍යාත්මක දැනුම ලබාදීමටත්, ඔවුන්ගේ ධනාත්මක ආකල්ප වැඩිදියුණු කිරීමටත් විශේෂ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.
  9. වගකීමකින් සතුන් ඇතිකිරීමටත්, ජලභීතිකා රෝගය හා එහි භයානකකම සම්බන්ධයෙනුත් ජනතාව දැනුවත් කිරීමට හැකි ඉක්මණින් වැඩසටහන ආරම්භ කළ යුතුය. ඒ සඳහා පහත සඳහන් යෝජනා අප ඉදිරිපත් කරන්නෙමු.
    • රූපවාහිනිය හා ගුවන් විදුලිය හරහා දැනුවත් කිරීමේ වැඩසටහන්
    • පාසැල් ළමුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරි මහත්මීන්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නියාමකවරුන්, ගොවි නියාමකවරුන් වැනි රජයේ නිලධාරින් හරහා නිතිපතා දැනුවත් කිරීමේ වැඩසටහන්
    • මරණාධාර සමිතිය, තරුණ සමිති, කාන්තා සමිති වැනි ගම් මට්ටමේ ඇති සමිති සමාගම් හරහා ජනතාව දැනුවත් කිරීම
    • පොත්පත්, අත්පත්‍රිකා, පෝස්ටර්, බැනර්, විදි නාට්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම
  10. දැනුවත් කිරීම මගින් පමණක්ම සමහර අවස්ථා වල නිවැරදි මාවතකට ජනතාව යොමු කරගැනීමට අපහසු නිසා වගකීමක් නොමැතිව සුනඛයන් ඇති කරන අයිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් කරගත යුතුය.
  11. නගරයේ කුණුකසල ඉවත් කිරීම බොහෝ විට ක්‍රමානුකූලව සිදු නොවන නිසා නගර සීමාව තුළ අයාලේ හැසිරෙන සුනඛයන්ගේ අඩුවීමක් බොහෝ විට දැකිය නොහැක. මේ නිසා නගරයේ කුණු කසල ක්‍රමානුකූලව ඉවත් කර කුමානුකූලව විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.
  12. ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් හා එය පාලනය කිරීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන්ට විශේෂඥ දැනුමක් ඇති අතර තවමත් රජයේ හා පෞද්ගලික අංශයේ පශු වෛද්‍යවරුන් බොහොමයක් සක්‍රියව මෙම වැඩසටහනට සහභාගි කරවාගෙන නොමැත. එම නිසා හැකි ඉක්මණින් අමාත්‍යාංශ මට්ටමෙන් තීන්දු තීරණ ගනිමින් ජලභීතිකා රෝගය මර්ධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ලබාගත යුතුය.

ඉහත සඳහන් බොහෝ අඩුපාඩු නිවැරදි කරගනිමින් හෙට දවසේ සැබෑ ජලභීතිකා මර්ධන වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට උත්සුක විය යුතුය. අමාත්‍යාංශයට ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීමට කළ නොහැකි දෑ කිරීමට අප නිරතුරුවම සූදානමින් සිටින්නෙමු. නමුත් දැනට පවතින අවාසනාවන්ත කුමන්ත්‍රණකාරී තත්ත්වයන් නිසා හෙට දවස තුළ දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් පවා නතර කර දැමීමේ අවදානමක් දැකිය හැක.

රටට සහ ජනතාවට ආදරය කරන පශු වෛද්‍ය කණ්ඩායමක් ලෙස අප ආරම්භ කර නායකත්වය දෙන මෙම වැඩසටහන් කිසිම හේතුවක් නිසා කඩාකප්පල් කර නතර කර දැමීමට අප ඉඩ නොතබන්නෙමු. එම නිසා ජලභීතිකා රෝගය ලංකාවෙන් සහමුලින්ම තුරන් කිරීමේ වගකීම රජය විසින් ගත යුතු බවට අප බල කරන අතර එසේ නොකරන්නේ නම් අපගේ සියලු ශක්‍යතාවයන් යොදමින් අවසාන ඉලක්කය කරා ළඟා වීමට අප වැඩපිළිවෙලක් සකස් කර ඇත්තෙමු.

මෙහි පළමු පියවර ලෙස ජලභීතිකාවෙන් මිනිස් හා සත්ත්ව ජීවිත බේරාගැනීම උදෙසා වූ අරමුදලක් අපි ආරම්භ කළෙමු. අප ඉතා මහන්සියෙන් උපයන මුදල් වලින් ලක්ෂ දහයක මුදලක් ආරම්භයක් ලෙස අප‍ මෙම අරමුදලට එකතු කළෙමු.

රටට ආදරය කරන ජලභීතිකා මරණ වලින් තොර හෙට දවසක් ගැන සිතන ඔබ සැමට අපගේ මෙම අරමුදලට දායක විය හැක. මෙහි සියලු ගනුදෙනු ඉතා විනිවිද පෙනෙනභාවයකින් සිදුකරන අතර සියලු ආදායම් හා වියදම් අපගේ වෙබ් අඩවිය හරහා ඔබට පරික්ෂා කළ හැක.

Name: Save Human & Animal Lives From Rabies
Name of the Bank: Bank of Ceylon
Branch: Madawala, Kandy, Sri Lanka
Account Number: 9869414

Leave a Reply

Flickr Photos

Polpithigama (2)Galgamuwa MOHGalgamuwa MOHVaharae MOHGaligamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHGalgamuwa MOHMore Photos »

A Member of CPEC

CPEC LogoMembership No: CP/KY/2009/0003